Sunday 10 May 2020

ආදරණීය ගුරු භවතුනි, දියණියනි,දෙමාපියනි,


කොළඹ කලාපයේ ජනප්‍රිය බාලිකා පාසලක් වන අප විද්‍යාලය අපගේ දියණියන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් තවත් එක පියවරක් ඉදිරියට තබමින් එළි දක්වන මෙම වෙබ් අඩවිය වෙනුවෙන් සටහනක් තබමින් ඔබ අමතන්නේ සතුටිනි. රට බිහිසුණු වසංගතයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ අප සැමගේ ආරක්ෂාව සලසා ගනිමින් ගෙදරටම වී සිටින අතර අපේ දියණියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන අධ්‍යාපනික වැඩසටහන් හුවමාරු කර ගැනීම මෙම වෙබ් අඩවිය ඇරඹීමේ මූලික අරමුණ යි.
ආදරණීය දියණිවරුනි, මේ අවස්ථාවේ ඔබේ අධ්‍යාපන කටයුතු අතපසු නොවන්නට ඔබේ ආදරණීය ගුරු මෑණිවරුන් පියවරු අපමණ වෙහෙසක් දරමින් ඔබ වෙත යොමු කරන පාඩම් මාලාවන්ට ඔබ ඉතා උනන්දුවෙන් සම්බන්ධ වන බව අප දනිමු. ඔවුන් ඔබ වෙත ලබා දෙන පැවරුම්වල නිරත වෙමින් මේ නිවාඩු කාලය ඵලදායීව ගත කරනු ඇතැයි අපේක්‍ෂා කරමු. ඒවායේ අඩුපාඩු, වැරදි නිවැරදි කර ගැනීමට ගුරුවරුන් වෙත නැවත යොමු කරන්න. මෙම කාර්යය වඩාත් ඵලදායි වන්නට,  
1. දිනපතා ඉගෙනුම් කටයුතුවල නිරතවීමට කාල සටහනක් සකස් කර ගන්න.
2. වෙනම පොතක ඔබ දිනපතා කරන ලද වැඩ කොටස පිලිබඳ (විෂය මාතෘකා) සටහනක් තබන්න.
3. කරන ලද පැවරුම් සටහන් සුරක්‍ෂිතව තබා ගන්න.
ආදරණීය දෙමව්පියනි, දරුවන් මෙම ඉගෙනුම් කටයුතුවල නිරතවනවාදැයි ආදරයෙන් සොයා බලන්න. ඔවුන්ට ඒ සඳහා පහසුකම් සලසමින් සහාය වන්න. පන්තියේ සෑම දරුවකුම මේ සඳහා සහභාගී කර ගන්නට උත්සාහ කරන්න.
ආදරණීය ගුරුභවතුනි, ඔබ මෙතෙක් දරුවන් වෙත යවන ලද පැවැරුම් අනුපිළිවෙලට මෙම වෙබ් අඩවිය වෙත ඇතුළත්  කරන්න. එවිට මෙතෙක් අතපසු වූ පැවරුම් වෙතොත් ඒවා දරුවන්ට වෙබ් අඩවිය හරහා  ලබා ගත හැකිවනු ඇත.
ඉදිරියේ දී ඔබ ඉදිරිපත් කරන සෑම පැවරුමක්ම මෙම වෙබ් අඩවිය හරහා දරුවන් වෙත ලබා දිය හැකිය. සතියකට වරක් දෙමව්පියන් සමග සම්බන්ධ වෙමින් ප්‍රගති සමාලෝචනයෙහි යෙදෙන්න. දිනපතා පාඩම් සමඟ ඔබ හා සම්බන්ධවන දරුවන් පිලිබඳ තොරතුරු වාර්තා තබා ගන්න. ඒවා ඔබේ සහකාර විදුහල්පතිනියට (ප්‍රා. අංශය), නියෝජ්‍ය විදුහල්පතිනියට වාර්තා කරන්න.ඔබ විසින් දරුවන් වෙනුවෙන් කරන්නා වූ සේවය මා ඉතා අගය කොට සලකමි.
විදුහල්පතිනිය
ඩබ්.බී.ජී.කුමුදුනී.

No comments:

Post a Comment